Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව පුවත් සහ සිදුවීම් සෙත්සිරිපාය අදියර II වැඩ පටන් ගනි

සෙත්සිරිපාය අදියර II වැඩ පටන් ගනි

සෙත්සිරිපාය අදියර II යටතේ බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකිර්ණය නව ගොඩනැගිල්ල ඉදිකිරීම 2009 ජුලි මස 22 වැනි දින ආරම්භ කෙරිණි. නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නාගරික සංවර්ධන අමාත්‍ය ගරු රෝහණ දිසානායක මහතා සහ නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පී රාමනුජම් මහතාගේ සහභාගිත්වයෙන් 2009 ජුලි මස 14 දින ප්‍රථම පස් පිඩැල්ල කපන ලදී.

ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා මෙම අවස්ථාවේ කථා කරමින් සදහන් කළේ මෙම ව්‍යාපෘතිය රජයේ කාර්යාල කොළඹින් පිට ශ්‍රී ජයවර්ධනපුර අගනගරය වෙත ගෙන ඒමේ පුළුල් වෑයමේ කොටසක් බවයි. මෙම ව්‍යාපෘතිය ඵල ගැන්වීමට හැකිවීම ගැන අතිගරු ජනාධිපතිතුමාටත් අමාත්‍ය මණ්ඩලයටත් ගරු ඇමතිතුමා ස්තුති කළේය. මහින්ද චින්තනය යටතේ මෙවැනි මහා පරිමාණ ගොඩනැගිලි දේශීය ඉංජිනේරුවන්ගේ සහ ඉදිකිරීම්කරුවන්ගේ විශේෂඥ දැනුමෙන් ඉදිකිරීමෙන් දේශීය ඉදිකිරීම් ‍ක්ෂේත්‍රයට වාසි ලැබෙන බවද ඔහු සදහන් කළේය. හෙක්ටයාර් එකක (අක්කර 2.5 ක පමණ) බිම් ප්‍රමාණය මත ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල තට්ටු 13 කින් (බිම්මහල + 12) සමන්විත වන අතර සම්පූර්ණ ඉඩ ප්‍රමාණය වර්ග මීටර් 32000 (වර්ග අඩි 350,000) කි. කාර්යාල සදහා ඉඩකඩ සමගින් වාහන නැවැත්වීම සදහා බිම් මහලේ ද රැස්වීම් ශාලා සහ පොදු කටයුතු සදහා අනෙක් මහල වලද පහසුකම් සලසා ඇත. පාරිසරිකව යෝග්‍ය හා ජනහිතකාමී ලෙසත් ස්වාභාවික වාතාශ්‍රය උපරිම අයුරින් ලැබෙන ලෙසත් එකතුකරගත් වැසි ජලය උපරිම අයුරින් පාවිච්චි කෙරෙන ලෙසත් මෙම ගොඩනැගිල්ල සැලසුම් කර ඇත. මීට අමතරව ආබාධිත අය සදහා රෝද පුටු මාර්ග, වැසිකිළි හා අනෙකුත් පහසුකම් සලසා ඇත.

රුපියල් බිලියන තුනක පමණ වියදමක් දරන මෙම ව්‍යාපෘතියෙහි කටයුතු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය‍ට සම්පූර්ණයෙන් අයිති අනුබද්ධ ආයතනයක් වන නගර ආයෝජන සහ සංවර්ධන (පුද්ගලික) සමාගම විසිනි. ආචාර්ය එම්.ඊ. ජෝකීම් මහතා ව්‍යාපෘති කළමනාකාර ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති කළමනාකරණ අංශය ගෘහ නිර්මාණ උපදේශක ලෙසද මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය ඉංජිනේරු උපදේශක ලෙසද කටයුතු කරයි. මාගා ඉංජිනේරු (පුද්ගලික) සමාගම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කරන අතර වසර දෙකකින් එහි වැඩ නිම කිරීමට යෝජිතය.