අනුරාධපුරය

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග නගරය වන අනුරාධපුරය ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් නගරයකි. වසර දස දහස් ගණනාවක් ඈතට දිවෙන ඉතිහාසයක් අනුරාධපුරය සතුව පවතී. අනුරාධපුර ඇතුල් නගරය තුළ සිදු කළ කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ජනාවාසව පැවති බවට සාධක හමු වේ. එම කැණීමෙන් හමු වූ බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කැබලි මගින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික අවධිය ක‍්‍රි. පු 7-8 වන සියවස් දක්වා දිවෙන බව ද අනාවරණය විය

මහාවංසයට අනුව අනුරාධපුරය ප‍්‍රථම වරට ජනාවාස කරගත්තේ ක‍්‍රි. පු 6 සියවසේ ඉන්දියාවෙන් මෙරටට සංක‍්‍රමණය වු ආර්යයන්් වන විජය කුමාරු ඇතළු පිරිසේ සිටි අනුරාධ නම් තැනැත්තෙකු විසිනි. ඔහු මල්වතු ඔයේ ශාඛාවක බටහිර ඉවුරේ අනුරාධ නමින් ග‍්‍රාමිය ජනාවාසයක් ආරම්භ කළේය. මෙම ග‍්‍රාමය පුරයක් බවට පත් වුයේ ක්‍රි පු 4 වන සියවසේ පණුඩකාභය රජු විසිනි. ඉන්පසුව මුටසිව රජු විසින් මහාමේඝවනය ඉදිකොට නගරය අලංකාර කළ අතර අනුරාධපුරයේ ඉදිකළ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල ජිවමාන සාධක දක්නට ලැබෙන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිටය. අනතුරුව දුටුගැමුණු, වලගම්බා, වසභ, මහසෙන් ධාතුසේන ඇතුළු රාජ්‍ය පාලකයන් අතින් අනුරාධපුර නගයේ වර්ධනය සහ ව්‍යාප්තිය සිදු විය. මෙලෙස උච්ඡුාවචනය වෙමින් පැවැති අනුරාධ නගරයේ වර්ධනය ක‍්‍රි.ව 9 වන සියවසේ දී ඇති වු පාණ්ඩ්‍ය ආක‍්‍රමණයත් 10 වන සියවසේ ඇති වු චෝල ආක‍්‍රමණයත් හමුවේ ප‍්‍රබල පසුබැස්මකට ලක් විය.

අනුරාධපුර පැරණි නගරය මල්වතු ඔයේ ශාඛාවක බටහිර ඉවුරේ පිහිටා ඇත. බටහිරින් බුලන්කුලම වැවෙන් ද නිරිත දිගින් බසවක්කුලම (අභය) වැවෙන් ද දකුණින් තිසා වැවෙන් ද නැගෙනහිරින් නුවර වැවෙන් ද (ජය වැව) සීමා වී ඇත. අනුරාධපුර පැරණි නගරයේ නටබුන් ව්‍යාප්ත වී අති ආකාරය අනුව නගර සැලසුම ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ.

ඇතුල් නගරය තුල රාජකීය ගොඩනැගිලිත් පිටත නගරය තුළ ආගමික ගොඩනැගිලිත් ස්ථානගත වී පවතී පිටත නගරය තුල විහාරාරාම ස්ථාන ගත වී ඇති ආකාරය අනුව ප‍්‍රධාන ආරාම සංකීර්ණ 03 ක් (මහා විහාරය, ජේතවනය, අභයගිරිය* ද ප්‍රත්‍යන්ත ආරාම කිහිපයක් ද පවතින අතර ඊට අමතරව රාජකීය උද්‍යාන සංකීර්ණයක් ද දැකිය හැකිය.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:50