ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටියට නුදුරු දඹේගොඩ මෙය පිහිටා ඇත.
වැල්ලවාය මොණරාගල මාර්ගයේ ගොස් කුඹුක්‍කනේ හන්දියෙන් දකුණට ඇති ඔක්කම්පිටියට යන විට මාළිගාවිල හමු වේ. එයින් කි.මී.1 ක් පමණ දුරින් මෙම ස්ථානයට ළඟා විය හැකි ය.
නොයෙකුත් මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට ලක්ව තිබී 1990 වර්ෂයේදී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙන් යථා තත්ත්වයට පත් කරන ලද පිළිමයකි. ස්ඵටික පාෂාණයට අයත් තනි ගලෙන් නිමවා ඇති මෙම පිළිමය උස මීටර් 10 කි. මුලු බර ටොන් 40 ක් පමණ ය. මෙම පිළිමය ශක්තිමත් බව, ප්‍රෞඩත්වය, රාජකීයත්වය ඉස්මතු කෙරෙන සමභංග ඉරියව්‍වෙන් නෙළන ලද බෝධිසත්ව පිළිමයක් ලෙස හඳුන්වා දිය හැකි ය. කටක හස්ත මුද්‍රාව සහිත මෙම පිළිමයෙහි ජටාවෙහි කූඩා සමාධි බුදු පිළිමයකි. තේජාන්විත බවත් පළ කරන මෙම ප්‍රතිමාව රාජාභරණවලින් විභූෂිතය. කඳුගැටය මත එකිනෙකට කුඩා වන මාලක කීපයක් මුදුනේ පිහිටුවා ඇති ප්‍රතිමාව වටා ප්‍රතිමා ගෘහයක් තිබෙන්නට ඇතැයි සාධකවලින් අනාවරණය වේ.
අවලෝකිතේෂ්වර බෝධිසත්ව මූර්ති නිර්මාණය මහායාන බුදු සමයෙන් ඇරඹී ඇත. බැතිමතුන්‍ගේ ආරක්ෂාව, රෝග සුව කිරීමේ හැකියාව මෙම ප්‍රතිමා වන්දනය තුළින් බලාපොරොත්තු වී ඇත. රුහුණේ අග්බෝ කුමරු කාණගාමයේ අන්ධයින්ට හා ගිලනුන්ට ශාලා කරවූ බව මහාවංසයේ සඳහන් වන අතර මෙය එම පුද බිම ලෙස සැලකේ. අනුරාධපුර අවසාන භාගයේ ලක්දිව බෝධිසත්ව වන්දනය ජනප්‍රියව තිබු ආකාරය මෙන් ප්‍රතිමා තුළින් මනාව ප්‍රත්‍යක්ෂ වේ.